ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණුතම පාරිසරික විනාශයට හේතු වූ MV X-Press Pearl නෞකාවට අදාළව, වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙවන ලෙසට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන බව අදාළ සිංගප්පූරු නෞකා සමාගම වන X-Press Feeders ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගය ප්‍රකාරව අදාළ සමාගම විසින් එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් විය.
ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.
අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි.




