ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක ආසියානු කුසලාන තරඟ පරාජයෙන් පසුව පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූවේ ජයග්‍රහණය වෙනුවෙන් සැලසුම් සකස් කරද්දී සුබවාදීව සිතා කළ වෙනස්කම්වල ප්‍රතිඵලය අවම වූ බැවින් අවසන් මහා තරගයෙන් ඉවතට යෑමට සිදු වූ බවයි.
“මොන අවාසනාවක්ද දන්නේ නෑ, කරපු වෙනස්කම් වැඩ කරන්නේ නෑ. මුල් තරග කිහිපයේදී පිතිකරුවන් 7ක් සමඟ ක්‍රීඩා කළා. එතකොට අපි පන්දු යවද්දී පන්දු යවන්නන්ගේ අඩුව ප්‍රශ්නයක් වුණා. ඒ නිසා පාකිස්තානය සමඟ තරගයේදී උත්සාහ කළා පන්දු යවන්නෙක් වැඩිපුර දාලා ක්‍රීඩා කරන්න. එතකොට එන්න තිබුණ ලකුණු ගාණත් නැති වුණා. තේරීම් කමිටුවයි පුහුණුකරුයි එක්ක කතා කරලා ඉදිරියේ එක තීරණයකට එන්න වෙනවා. නැත්නම් වෙනස් කර කර ගිහින් සාර්ථක වෙන්න බෑ. ආදේශ කරන ක්‍රීඩකයාත් දැන ගත යුතුයි අවශ්‍ය දේ කරන්න. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියන්නේ කුමන හෝ අංශයකින් දායකත්වයක් දිය යුතු කෙනෙක්. මේක මටත් හරි හිසරදයක් වෙලා” චරිත් අසලංක පැවසීය.
ඔහු පැවසූවේ තරගයේ පරාජයට මුල් පෙළ කඩුලු 5ක් ඉතා ඉක්මනින් දැවීයෑම හා දසුන් ශානක හා තමන් ඉක්මනින් දැවී යෑම තරගයට බලපෑම් ඇති කළ බවයි.
“වගකීම පිතිකරුවන් ගත යුතුයි. පාකිස්තානය වගේ කණ්ඩායමක් සමඟ එවැනි දෙයක් වුණාම නැවත නැඟිටීම අපහසුයි. කමිඳු සහ අනෙක් පිතිකරුවන් තරගය අපේ පැත්තට ගන්න උත්සාහ කළත් එය අසාර්ථක වුණා.
අපේ කණ්ඩායමට මාස කිහිපයක සිට මැද පෙළ ගැටලුවක් තිබුණා. මේ තරගාවලියට පෙර අපේ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කළා. අවාසනාවකට මේ තරගයේදී සාර්ථක වුණේ නෑ. වගකීම තියෙන්නේ අපිට. ඩුබායි හෝ අබුඩාබි තණතිලිවල හඹාගොස් පන්දුවට පහරදීම වඩා හොඳයි.
නමුත් වෘත්තීය ක්‍රීඩකයෝ විදිහට කාසියේ වාසිය මත රැඳී ඉන්න බෑ. දැන් අපිට අවසාන මහා තරගයට යන්න තියෙන අවස්ථා නෑ. මේ දේ වුණේ හොඳට කියලා මම හිතනවා. මේක ගැන හිත හිත කනගාටු වෙලා දැන් වැඩක් නෑ. ලෝක කුසලානයට යද්දී අපි ගොඩක් සැලසුම් සකස් කර ගන්න වෙනවා” චරිත් අසලංක සඳහන් කළේය.




