ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වේ.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතය.
ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද සහභාගී වනු ඇත.




