රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ, දිග කොණ්ඩය හෝ ශරීරයේ පච්ච නිසා පවා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ ෆේස්බුක් සටහනක් තබමිනි.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) යටතේ ඇති සමහර මර්දනීය වගන්ති, අලුත් ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත’ (පීඑස්ටීඒ) මගින් ඉවත් කර, ඒවා මේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට ඇතුළත්කොට ඇති බවද සාලිය පීරිස් මහතා කියයි.
ඔහුගේ ෆේස්බුක් සටහන සම්පූර්ණයෙන් මෙසේය.
“ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්රතිසංස්කරණය කිරීම හෝ අහෝසි කිරීම සඳහා වන ඉල්ලීම්වලට පිළිතුර ලෙස රජය විසින් නව ත්රස්තවාදයෙන් ආරක්ෂාවීමේ පනත් කෙටුම්පත (PSTA) ඉදිරිපත් කර ඇත. ආර්ථිකයට අත්යවශ්ය යැයි සැලකෙන GSP+ සහනය තවදුරටත් ලබා ගැනීම සඳහා ත්රස්තවාදයට එරෙහි නීති ප්රතිසංස්කරණය කිරීමට ශ්රී ලංකා රජයන් පොරොන්දු වී ඇති බැවින් මෙය වඩාත් වැදගත් වේ.
ඡීඕ පනත මගින් පොරොන්දු වී ඇති ප්රධාන ප්රතිසංස්කරණ අතර, සහකාර පොලිස් අධිකාරී (ASP) ශ්රේණියට ඉහළ පොලිස් නිලධාරීන්ට කරනු ලබන පාපෝච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමේ ප්රතිපාදනය අහෝසි කිරීම ප්රධාන වේ. අතීත අත්දැකීම්වලින් අප දන්නේ PTA පනත යටතේ පාපෝච්චාරණ සටහන් කරගැනීම, පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් වධහිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීමේ සංස්කෘතියකට මග පෑදූ බවයි.
දැන්, රජය විසින් PSTA පනත යටතේ ‘පාපෝච්චාරණ’ අහෝසි කරන බවට යුරෝපීය සංගමය ඇතුළු ජාත්යන්තර ප්රජාවට පෙන්වා දෙන අතරතුර, රජය විසින් “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත” නමින් වෙනම පනත් කෙටුම්පතක් ප්රකාශයට පත් කර ඇත.
මෙම පනත් කෙටුම්පත යටතේ, ASP සහ ඊට ඉහළ නිලධාරීන්ට කරනු ලබන පාපෝච්චාරණ, විත්තිකරුවන්ට එරෙහිව උසාවියේදී සාක්ෂි ලෙස පිළිගත හැකිය. මෙය දැනට PTA පනතේ ඇති සහ PSTA මගින් අහෝසි කිරීමට නියමිත ප්රතිපාදනවලට සර්වසම වේ.
මෙම නව සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත යටතේ, සැකකරුවන්ට ඇප ලබාගත හැක්කේ මහාධිකරණයෙන් පමණක් වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති වුවද, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇති නිසාම ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරුන්ට සිදුවේ.
එක් ප්රතිපාදනයක් මගින් යම් තැනැත්තෙකුගේ කොණ්ඩා මෝස්තරය, පච්ච (tattoos ) හෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව, එම තැනැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බවට නිගමනයකට එළඹීමට උසාවියට ඉඩ සලසයි.
ඉතා ඉක්මනින්, පොලිසිය විසින් සුදුසු නැතැයි සලකන දිගු කොණ්ඩය සහ පච්ච තිබීම නිසා මිනිසුන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇත.
PSTA පනත භාවිත කරනවා වෙනුවට, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත භාවිත කරමින් පාපෝච්චාරණ සටහන් කර ගැනීම සහ හිතුමනාපයේ අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් සිදු කරමින් වධහිංසා පැමිණවීම, අමානුෂික ලෙස සැලකීම සහ දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය තවදුරටත් පවත්වාගෙන යනු ඇත.



