ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව ඇත.
නවතම URAP World Ranking 2025/2026 ශ්‍රේණිගත කිරීම් අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ 1548 වන ස්ථානය හිමිකර ගනිමින් ශ්‍රේණිගත කිරීම්වල ඇතුළත් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල අතර ඉහළම ස්ථානයට පත්ව තිබේ.
මෙම ජයග්‍රහණය තවත් සුවිශේෂී වන්නේ, මීට පෙර ප්‍රකාශයට පත් කළ CWUR World University Rankings 2026 අනුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය ලෙස නම් වීම හේතුවෙනි. එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ 1695 වන ස්ථානය හිමිකර ගනිමින්, ලොව පුරා විශ්වවිද්‍යාල 21,000කට අධික සංඛ්‍යාවක්අතරින් මෙම ගෞරවනීය ස්ථානයට පත්ව ඇත.
ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් යනු අධ්‍යයන ප්‍රතිඵල, පර්යේෂණ දායකත්වය, විද්‍යාත්මක ප්‍රකාශන, පර්යේෂණවල බලපෑම, ජාත්‍යන්තර කීර්තිය සහ ආයතනික කාර්යසාධනය ඇතුළු විවිධ දර්ශක සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාලවල ගෝලීය තත්ත්වය ඇගයීමට ලක් කරන ක්‍රමවේදයකි.
එවැනි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් දෙකකින්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්ථානයට පත්වීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය දිගුකාලීනව ගොඩනගාගෙන ඇති අධ්‍යයන හා පර්යේෂණ උරුමය තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෙම සාර්ථකත්වය පිටුපස සිටින්නේ එහි අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පර්යේෂණ කැපවීම, දේශීය හා ජාත්‍යන්තර විද්‍යාත්මක ප්‍රජාව සමඟ ගොඩනගාගත් සම්බන්ධතා, නව දැනුම නිර්මාණය කිරීම සහ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදුකරන පර්යේෂණ දායකත්වය බවද හෙතෙම කීය.
විද්‍යාව, කෘෂිකර්මය, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, කලා හා මානව ශාස්ත්‍ර, කළමනාකරණය, පශු වෛද්‍ය හා සත්ව විද්‍යාව, දන්ත වෛද්‍ය විද්‍යාව සහ අනෙකුත් බොහෝ විෂය ක්ෂේත්‍ර හරහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය දේශීය හා ජාත්‍යන්තර දැනුම් පද්ධතියට ලබාදෙන දායකත්වය මෙම ජයග්‍රහණයට ශක්තියක් වී ඇති බවද, මෙම ගෞරවනීය ජයග්‍රහණය කිසිදු පුද්ගලයෙකුගේ හෝ එක් අංශයක පමණක් සාර්ථකත්වයක් නොවේ. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, පර්යේෂකයන්, සිසුන්, අනධ්‍යයන සේවකයන්, පරිපාලන නිලධාරීන් සහ ලොව පුරා විසිරී සිටින ආදි ශිෂ්‍ය ප්‍රජාවගේ සාමූහික කැපවීමේ ප්‍රතිඵලයක් බවද උප කුලපතිවරයා පවසන අතර විශේෂයෙන්ම නව පර්යේෂණ, උසස් අධ්‍යාපනය, විද්‍යාත්මක ප්‍රකාශන සහ ජාත්‍යන්තර සහයෝගිතා හරහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිය ගෝලීය පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටී.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ අංක එකේ ස්ථානයට පත්වීම විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ ජයග්‍රහණයක් නොව, සමස්ත ශ්‍රී ලාංකේය රාජ්‍ය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටම අභිමානයක් ගෙන දෙන පණිවිඩයකි.
සම්පත් හා අභියෝග මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ හා අධ්‍යයන කාර්යසාධනයක් පවත්වාගෙන යා හැකි බව මෙම ජයග්‍රහණ මගින් නැවත වරක් තහවුරු වී තිබේ.
URAP 2025/2026 හි ලෝකයේ 1548 වන ස්ථානයත්, CWUR 2026 හි ශ්‍රී ලංකාවේ අංක එක සහ ලෝකයේ 1695 වන ස්ථානයත් හිමිකර ගැනීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභිමානවත් ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.
පර්යේෂණයෙන්, දැනුමෙන් සහ නවෝත්පාදනයෙන් ලෝකය සමඟ ඉදිරියට යන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට, මෙම ජයග්‍රහණය අනාගතයේ තවත් ඉහළ ඉලක්ක කරා ගමන් කිරීමට නව ශක්තියක් හා ප්‍රේරණයක් වනු නොඅනුමානය.




