හෙළයේ මහා කලා මංගල්‍යය හෙවත් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ රන්දෝලි පෙරහැර ආරම්භයත් සමඟ පෙරහැර නැරඹුම් ආසන මිල රුපියල් 25,000 සිට 50,000 දක්වා මිල ගණන් වලට අළෙවි කෙරෙන අතර, ඇතැම් විට ඊටත් වඩා අධික මිල ගණන් යටතේ විවිධ පුද්ගලයෝ හා තැරැව්කරුවෝ ආසන අලෙවි කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බව පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් ජනතාව චෝදනා කරති.
මහනුවර ඇසළ පෙරහැර ආසන විකුණන්නන්, මෙලෙස අධික මුදලට පෙරහර නරඹන්නන්ට විකුණන ආසන කිසිදු සැප පහසුකමක් නොමැති ඒවා බව මහජනතාව පවසති.
ප්ලාස්ටික් පුටුවට සුදු රෙද්දක් අතුරා තිබෙන අතර, මෙම ආසන අධික මුදලකට මිලදී ගන්නා පාරිභෝගිකයාට කිසිදු පහසුකමක් ලබාදී නොමැති අතර, පානීය ජල බෝතලයක් ලබාදිය යුතු වුවද එයද ලබාදී නැති බවත්, වැසිකිළි පහසුකමක් හෝ නොමැති ස්ථාන තිබෙන බවත්, අධික මුදල් ගෙවා පෙරහැර ආසන මිලදී ගත් විදෙස් සංචාරකයෝ පවසති.
සංචාරක මග පෙන්වන්නන් (ටුවරිස්ට් ගයිඩ්) ලෙස ව්‍යාජව පෙනී සිටින ඇතැම් වංචනිකයන්, පෙරහැර ආසන අධික මුදලට විදෙස් සංචාරකයන්ට අළෙවි කර, ඔවුන්ව ගසා කන්නේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේද සහායෙන් බව සඳහන් වේ.
මහනුවර ඇසළ පෙරහැර සමයේ සිදුකෙරෙන මෙම අධික මුදලට පෙරහැර ආසන අළෙවි කෙරෙන කූඨ ජාවාරමට කිසියම් නියාමනයක් ඇති කිරීමට රජය පියවරක් ගත යුතු බව විදෙස් සංචාරකයන්, දේශීය ජනතාව, සංස්කෘතික අමාත්‍යාංශයෙන් සහ පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කරති.
මහනුවර නගරයේ පුද්ගලික වෙළඳ ආයතන සහ ඇතැම් රාජ්‍ය ආයතනවල පෙරහැර ආසන ටෙන්ඩර් මගින් පුද්ගලික ව්‍යාපාරික පිරිස් වෙත ලබා දී තිබෙන අතර පෙරහැර ආසනයකින් මහනුවර මහ නගර සභාව රුපියල් 1000ක මුදලක්ද, මහනුවර දිසාපති යටතේ පාලනය වන ඇසළ පෙරහැර භාරයට රුපියල් 600ක මුදලක්ද අය කරනු ලබයි.
මහනුවර නගරයේ වෙළඳ ආයතන බහුතරයක් තම ආයතන ඉදිරිපිට මෙන්ම පදික වේදිකාවේද පෙරහැර ආසන සකසා විශාල මුදලකට අළෙවි කරමින් දෙස් විදෙස් පෙරහර නරඹන ජනතාව ගසා කෑම ජයටම සිදු කරන අතර නමුත් ඔවුන් මහනුවර වග කිවයුතු රාජ්‍ය ආයතන වෙත පෙන්වා දෙන්නේ අඩු මුදලකට ආසන අලෙවි කරන බවයි.
පෙරහැර නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන විදෙස් ජනතාව මෙම අධික මිල ගණන් යටතේ ආසන ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට සාමාන්‍ය ජනතාව සමග පදික වේදිකාවේ සිට පෙරහැර නරඹන ආකාරය මේ වන විට නිරතුරුවම දක්නට ලැබේ.




