යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ අර්බුදයක් ඇති නොවන ලෙස රට ගොඩනඟන බවට ජනතාවට සහතික වන බව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.
“විශේෂයෙන් පසුගිය ජනවාරියේ චීන සංචාරයේ දී මා චීන ජනපතිගෙන් ඉල්ලා සිටියා අපට නැවත චීන රජය විසින් ණය ආධාර මත ආරම්භ කර ඇති ව්‍යාපෘති ආරම්භ කරන්න සහාය දෙන්න කියලා. එතුමා විශේෂ අවධානය යොමුකරලා ඒ නතර වී ඇති සියලු ව්‍යාපෘති ආරම්භ කරන්න අවශ්‍ය ආධාර චීන රජයෙන් ලබාදෙන්න එකඟත්වය පළ කරා. එයට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.
”ඒ වගේම අපි මෙම අධිවේගී කොටස සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටියා. ඒ අනුව එතුමාලා අපිට දැනුවත් කළා ඩොලර් වලින් විශේෂ ණය යෝජනා ක්‍රම නොමැති බවත් එය යුවාන්වලින් ගෙවිය හැකි බවත්. ඒ අනුව 2.5% – 3.5%අතර පොලී අනුපාතයකට මෙම ණය මුදල අපිට ප්‍රදානයට චීන එක්සිම් බැංකුව අපිට කැමැත්ත පළ කරා. එයට ස්තූතියි.”
“අපිට මේ මතුපිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඔවුන්ට අවි ආයුධ ලැබෙනවා නීතියානුකූල හමුදාවන් විසින් කුඩු ප්‍රවාහනය කරනවා.එය මැඩපැවැත්වීමට ඉන්න පොලීසිය ඔවුන්ට රැකවරණය දෙනවා. දේශපාලන අධිකාරිය විසින් නීතිවිරෝධී පාස්පෝට් හදලා දෙනවා. නීතියානුකූල පාස්පෝට් සෑදීම වැළැක්වීම සඳහා තිබෙන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට මෝටර්රථ ලියාපදිංචි කරලා දෙනවා. මෝටර්රථ ලියාපදිංචියට තියෙන ආයතන විසින් ඔවුන්ට නීතියේ රැකවරණයත් ලබාදෙනවා. ඒ නිසා මේ මතුපිට තිබෙන රාජ්‍යයට සමාන යටිබිම්ගත රාජ්‍යයක් සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත තිබෙනවා. තැන තැන වෙඩිතැබීම්, මත්ද්‍රව්‍ය ආදි විශාල සමාජ අපරාධවලින් ගහණ වූ යටිබිම්ගත රාජ්‍යයක්. මේ යටිබිම්ගත රාජ්‍ය අපි සහතික වශයෙන්ම අවසන් කරනවා.”
“බිඳවැටුණු රාජ්‍යයක් තොරන් ආර්ථිකයින් නොව ස්ථාවර ආර්ථිකයින් ගොඩනඟමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ, ආර්ථිකය, සමාජ ජීවිතය, දේශපාලන, නීතියේ ආධිපත්‍ය වැදගත් හැරවුමකට භාජනය කළ වසරක් බව…”
“අපි ආර්ථිකය ගැන විශ්වාසය තහවුරු කළ යුතුයි. මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ විවිධ මුල්‍ය ආයතන ලංකාවේ ආර්ථිකය ගැන දෙන සංඥව ඉතා වැදගත්. ලෝක බැංකු නිවේදනයකින් කියනවා බිඳවැටුණු රටවල් ගොඩනැගීමේ දී වේගවත්ම රට ශ්‍රී ලංකාව කියන නාමය අපිට ලබාදීලා තියෙනවා. ඒවා වැදගත් සාධක. ඒ නිසා ඉතාම ස්ථාවරව මේ ගමන අපි යමින් ඉන්නවා. එළියේ කුඩා කුඩා දේශපාලන කැලඹීම් තියෙනවා. අපි බලන්නෙවත් නෑ.”
“අපි අවශ්‍ය වන්නේ දියුණු දේශපාලනඥයෙක්. දියුණු පුරවැසියෙක්. අපිට කිසිසේත්ම අවශ්‍ය නෑ වන්දනාමාන කරන පුරවැසියෙක්. තම තමන්ගේ වගකීම් ඉටුකරන පුරවැසියන් අපට අවශ්‍යයි. මිනිස්සුන්ව මේ දේශපාලන අධිකාරිය බියකළා. ලෝකයේ දියුණු හැම රටකම දේශපාලන දියුණුව වගේම පුරවැසියාගේ දියුණුව වැදගත්. දේශපාලකයාට බය පුරවැසියෙකුගෙන් රටක් ඉදිරියට යා නොහැකියි. රටක් ඉදිරියට යා හැක්කේ දියුණු පුරවැසියෙකුගෙන්. ඒ පුරවැසියා බිහිකළ හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපි ඇති කරනවා.
”කොඳු සිඳගත් ජාතියකට දියුණු ජාතියක් වෙන්න බෑ. ප්‍රශ්න කරන, තමන්ගේ අදහස් නිර්භයව කියන, පොදු සාමුහික ක්‍රියාවලට එකතු වන, සහකම්පනයක් ඇති වෙන දියුණු මිනිස්සුගෙන් පමණයි දියුණු ජාතියක් හැදිය හැක්කේ. අපි විශ්වාස කරනවා ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගෙන තියෙනවා. අපිට කළ හැකියි.”
ව්‍යාපෘති නිසි කාලයට නිම නොකිරීම ආර්ථිකයට විශාල පාඩුවක් බවද සඳහන් කර සිටි ජනාධිපතිවරයා, නියමිත කලට මධ්‍යම අධිවේගයේ කටයුතු නිම කිරීම නිලධාරින් සතු වගකීමක් බවත් එයට අවශ්‍ය සියලු සහාය රජයක් ලෙස ලබාදෙන බවත් මෙහිදී අවධාරණය කර සිටියේය.




