රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා ඇති බව අමාත්‍ය
හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. පූගොඩ පැවැති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ රස පරීක්ෂක
දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීමට ඊට අවශ්‍ය මානව සම්පත් ඇතුළු පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන බවයි.
“ඉදිරි අයවැයෙන් විනිසුරුතුමන්ලාට යම් යම් දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය
දැනුවත් කර තිබෙනවා. දියුණු රටවල මිලියනයකට විනිසුරුවරුන් 40 හෝ 60 ක් ඉන්නවා. නමුත් අපේ රටේ ඉන්නේ මිලියනයකට විනිසුරුවරුන් 10 ක් පමණයි. දැනට අධිකරණවල පවතින ගැටළු වසර 10 ක් 15 ක් තිස්සේ සිට පවතින දේවල් බව කිව යුතුයි. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ප්‍රමාණයෙන් භාගයක් පමණ අඩුකර ගැනීමට රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමෙන් කළ හැකියි. මසකට රස පරීක්ෂක වාර්තා 1500 ක් 2000 ක් පමණ ලබා ගැනීමට හැකි පරිදි කටයුතු කර තිබෙනවා. නඩුකාරතුමන්ලාට නීතිඥ මහත්ම මහත්මීන්ට සහ කාර්ය මන්ඩලයට මානසික ආතතියක් නොමැතිව ක්‍රියා කිරීමේ වාතාවරණයක් සකස් කළ යුතුයි.
අධිකරණ තුල ගොඩගැසී තිබෙන අති විශාල නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අඩු කරලා විනිශ්චයකාරවරුන්ට දැරිය හැකි තත්ත්වයට පත් කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ තිබෙන විශාලම අභියෝගක් බව සඳහන් කළ යුතුයි. ඒ සඳහා
අගවිනිසුරුතුමා ගෙන ඇති වැඩපිලිවෙලට අවශ්‍ය පහසුකම් ලබා දීම මගේ අමාත්‍යාංශයේ වගකීමයි. ඒ සදහා උපරිමයෙන් උත්සාහ කරනවා. නඩුවලින් ගොඩගැසී ඇති වැඩි ප්‍රමාණයක් තිබෙන කොළඹ අධිකරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි කරන්න පහසුකම් ලබාදීමට අපේ රජය කටයුතු කලා. අගවිනිසුරුතුමා ඇතුලු අපේ විනිසුරතුමන්ලා සහ
ඔබ සැම සමග එකතුවෙලා අපේ රටේ කාර්යක්ෂම හා ඵලදායී අධිකරණ පද්ධතියක් ස්ථාපිත කොට රට තුල නීතියේ
පාලනය තහවුරු කරනවා.
ඒ සදහා ඇතැම් කණ්ඩායම් විවිධ ගැටලු ඇති කරනවා. පසුගියදා ඇතිවූ මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හොදම උදාහරණයක්. ඒ අනුව එවැනි සිද්ධිවලට මුහුණ දීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබෙනවා. රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය බන්ධනාගාර තදබදයට දැඩිව බලපා තියෙනවා. ඒ නිසා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කරන්න ඊට අවශ්‍ය මානව සම්පත් ඇතුළු පහසුකම් ලබාදීලා ඒ ආයතනය ශක්තිමත් කරන්න අප රජය කටයුතු කරනවා. ඒ වගේම අපේ රජය බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුල නිලධාරීන්ට තිබෙන ගැටලු සහ අවශ්‍ය පහසුකම් ලබාදීම සදහා විශේෂයෙන් මේ අවස්ථාවේදී මැදිහත් වෙමින් සිටින බව සඳහන් කළ යුතුයි. ඒ අනුව දැනට 10,375ක් රදවන්න පුලුවන් බන්ධාගාරවල ඒවගේ හතර ගුණයක් විතර රඳවා තිබෙනවා. ඒ නිසා මෙම බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන වගේම නිවාස අඩස්සියේ නැත්නම් හවුස් ඇරෙස්ට් වැනි තාක්ෂණික ක්‍රම හදුන්වා දීමට ද අප කටයුතු කරගෙන යනවා.”




