ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් සියයට විසිහතරක් (24%) විෂාදයෙන් පෙළෙන බවට සායනික වශයෙන් තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පැවසීය. මෙය භයානක තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.
කැලණිය විශ්වවිද්‍යාලය සහ මොනෑෂ් විශ්වවිද්‍යාලය එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එක්දහස් හතළිස්පස් දෙනකු (1,045) සහභාගි කරගෙන සිදුකළ පරීක්ෂණයකින් මේ බව හෙළිව තිබේ.
එසේම සිසුන්ගෙන් සියයට හැටක (60%) පිරිසක් විශේෂ රෝග තත්ත්වයක් නොමැතිව මානසික ආතතියෙන් පෙළෙන බවද හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වයෙන් පැහැදිලි වන්නේ පාසල් සිසුන්ගෙන් බහුතර පිරිසකට ඔරොත්තු දීමේ හැකියාව නොමැතිකම බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ඊට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ මෙම දරුවන්ගේ ගැටලුවලට දෙමව්පියන් ඇහුම්කම් නොදීම සහ ඔවුන්ගේ ප්‍රශ්න නොසලකා හැරිමයි. මීට අමතරව කුඩා කාලයේ ඔවුන්ට සිදුවූ වධහිංසා සහ අපයෝජනවලට පිළියම් යොදා නොමැතිවීම, නිරන්තරයෙන් විභාග සඳහා යොමු කිරීම, විශේෂයෙන් මාස තුනකට වතාවක් වාර විභාග පැවැත්වීම ද මෙසේ දරුවන් ආතතියට පත්වීමට හේතුවක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.




