රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404 ක් සඳහා 2026 වර්ෂයට නියමිත මුළු නිල ඇඳුම් ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය ඊයේ (11) දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත් විය. ඒ අනුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, චීන තානාපති Qi Zhenhong ගේ එකගතාවයෙන් 2026 වර්ෂයට අදාල සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟ වී තිබේ.
එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබා දීමට එකඟතාව පල කළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සහ චීන නානාපති Qi Zhenhong අතර සිදු වු අතර එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න,
“2025 වර්ෂය සඳහා ද චීනය රෙදි මීටර් මිලියන 11.82 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළා. එමඟින් සමස්ත ජාතික අවශ්‍යතාව ආවරණය වුණා වගේම රට පුරා සිසුන් මිලියන 4.6 කට වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ සැලසුණා. රුපියල් බිලියන 5.17 කට වඩා වටිනා මෙම දායකත්වය, ලාබාලත ම සිසුවාගේ සිට ජාතික විභාග සඳහා සූදානම් වන ජ්‍යෙෂ්ඨ සිසුන් දක්වා සෑම දරුවෙකුටම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට මඟ පෑදුවා. 2026 වසර සඳහාද එවැනි ම දායකත්වයක් ලබා දීම අගය කළ යුතු වෙනවා”.
චීනය 2026 නිල ඇඳුම් ප්‍රදානය පිළිබඳ කඩිනම් ප්‍රතිචාරයක් දැක්වීම ශ්‍රී ලංකා රජය සහ චීනය අතර පවතින අන්‍යෝන්‍ය මිත්‍රත්වය පිළිඹිබු කරන සාධකයක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වවී සිටියා.




