රජයේ සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් වී පී එන් ඔස්සේ සමාජ ජාලයක් මගින්ම සංවිධාන වී ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ මාලාවකින් 71 කට දිවි අහිමිවීමෙන් පසුව නේපාලයේ දේශපාලන බලය පෙරලූ Gen Z විරෝධතාකරුවන්ගේ නව අගමැතිනිය විසින් එරට කැබිනට් මණ්ඩලය 15කට සීමා කිරීමට පියවර ගෙන තිබේ. තරුණ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට අනුව රටේ දේශපාලන තීන්දු ගන්නා මෙම අවස්ථාවේදී අමාත්‍යවරුන් තිදෙනකු දිවුරුම් දීමට ද කටයුතු කළ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටී.
මේ අසීරු අවස්ථාවේදී අමාත්‍යවරු 15ක් පමණක් පත්කරන බවත් නව පත්කිරීම් තුනෙන් පසුව සෙසු අමාත්‍යවරුන් ක්‍රමානුකූලව පත්කරන බවත් අගමැතිනි සුෂිලා කාකි නිවේදනය කර ඇත.
ස්වදේශීය කටයුතු, මුදල් යනාදී ඇතැම් අමාත්‍යාංශවලට කරනු ලබන පත්කිරීම් සම්බන්ධයෙන් යම් ආතතියක් ගොඩනැගුණු බව ද අගමැතිනිය සඳහන් කරයි.
කෙසේවෙතත් හිටපු මුදල් ලේකම් රාමේෂොර් කානල් මුදල් ඇමති ලෙසත්, කීර්තිමත් නීතිඥයකු ලෙස ප්‍රකට ඕම් ප්‍රකාශ් ආර්යල් ස්වදේශීය කටයුතු අමාත්‍යවරයා ලෙසත්, එරට විදුලිබල අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු වන කුල්මන් ගිෂින්ග් බලශක්ති සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.
නේපාලයේ බලය පෙරළු Gen Z විරෝධතාවලදී බහුලව දක්නට ලැබුණේ අවුරුද් 20ක් පමණ වන තරුණ ප්‍රජාව බවත් මේ වනවිට කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සාකච්ඡා සඳහා ද Gen Z අරගලකරුවන්ගේ නියෝජිතයන් සහභාගි වන බව ද එහි සඳහන් වේ..
‘අපි ඉක්මනින්ම කැබිනට් එක පත්කරලා ඉවර කරනවා’ සුඩාන් ගුරුන්ග් නම් වන හිටපු ඩීජේ පවසා තිබුණි. නේපාලයේ රජයට එරෙහි විරෝධතාකරුවන් කැඳවීමට ඩිස්කෝට් ඇප් එකෙන් සංවිධාන වීම සඳහා මූලිකත්වය ගත් අයකු ලෙසත් ගුරුන්ග් හඳුනාගෙන ඇත.




