රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය සාර්ථකව අවසන් වීමත් සමඟ, ඓතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ අෂ්ඨඵල බෝධීන් වහන්සේ අභියස විශේෂ පිංකමක් සහ ආගමික වතාවත් සිදුකරන ලදී.
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, හම්බන්තොට දිස්ත්‍රික් සඝ සමුළුවේ හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, හෙළ බොදු බල එකමතුවේ ගරු සභාපති, කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම පිංකම පැවැත්විණි.
මෙහිදී උන්වහන්සේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ අෂ්ඨඵල රුහ බෝධින් වහන්සේ වෙත ගොස් වැඳ නමස්කාර කර, වාර්ෂික ඇසළ මංගල්‍යය සාර්ථක කරගැනීමට ආශීර්වාද කළ කතරගම දෙවිඳුන් ඇතුළු දෙවියන්ට මෙහිදී පිං අනුමෝදන් කරන ලදී.
මෙම පූජනීය අවස්ථාව සඳහා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ගිහි භාරකාර ශෂික බඹරැන්ද මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ස්වර්ණවාහිනී නාලිකා සමූහ ජාලයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුසාර දිනාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.




