නැගෙනහිර මුහුදේ නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා නාවික හමුදාව, රාජ්ය ආයතන සහ ධීවර ප්රජාව එක්ව කටයුතු කිරීමේ අවශ්යතාව අවධාරණය කෙරේ.
ඒ සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ ධීවර ප්රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් නාවික හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (06) ත්රිකුණාමලය නාවික තටාකාංගනයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නැගෙනහිර පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී නැගෙනහිර මුහුදේ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම, එම කටයුතු හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම, මසුන් ඇල්ලීමේදී සම්මත ධීවර පන්න ක්රම භාවිතය ප්රවර්ධනය කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් සමුද්රීය පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව ධීවර ප්රජාව දැනුවත් කරන ලදී.
නීති විරෝධී ධීවර කටයුතු පාලනය නොකළහොත් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර ප්රතිවිපාක සහ ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව පිළිබඳව ද ධීවර ප්රජාව දැනුවත් කෙරිණි.
මෙහිදී නීත්යානුකූලව ධීවර කර්මාන්තයේ නිරත ධීවරයන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙවැනි වැඩසටහන් මඟින් ශ්රී ලංකා නාවික හමුදාව, රාජ්ය ආයතන සහ ධීවර ප්රජාව අතර සම්බන්ධීකරණය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සමුද්රීය පරිසරය ආරක්ෂා කිරීම හා සංරක්ෂණය පිළිබඳ ධීවර ප්රජාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීමටත් වැදගත් දායකත්වයක් සැපයෙනු ඇත.
මෙම වැඩසටහනට නැගෙනහිර නාවික විධානයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවල ධීවර අධ්යක්ෂවරුන්, ධීවර පරීක්ෂකවරුන් සහ ධීවර සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



