ඩෙංගු අධි අවදානම් තත්වයක්

Date:

මෙම වසරේ ඩෙංගු රෝග ව්‍යාප්තිය අධිවසංගතයක් දක්වා යාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. සාමාන්‍යයෙන් වසර කිහිපයකට වරක් ඩෙංගු අධිවසංගතයක් දක්වා වර්ධනය වීමේ ඉතිහාසයක් ඇතැයිද 2017 වසරේදී ඩෙංගු අධිවසංගත තත්ත්වයක ඇතිවූ බවද ලේකම්වරයා කියා සිටියේය. මෙම වසරේ ඩෙංගු ප්‍රස්තාරයට අනුව නිල් පැහැති රේඛාව ඉහළ යමින් තිබෙන බවත් 2017 වසරේදී උපරිම අගය පැවැතියේ රතු රේඛාව බවත් හෙතෙම කීවේය.

තවද මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ලක්ෂයක් දක්වා වර්ධනය විය හැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.

අප්‍රේල් මස ඩෙංගු රෝගීන් 5600 ක් හමුවූ බවද මැයි මස 8500 ක් දක්වා එය වැඩිවූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ඩෙංගු වසංගත තත්ත්වය උත්සන්නවීමත් සමග ඩෙංගු ආශ්‍රිත මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බවත් මියගිය අයගෙන් විසිඑක් දෙනකුම කාන්තාවන් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවැසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. මියගිය අය අතර පාසල් දරුවන් සිව්දෙනෙක්ද වූහ.

මෙම වසරේ ගෙවී ගිය මාස පහයි දින 16 ක කාලයේදී මෙරටින් ඩෙංගු රෝගීන් 42,807 දෙනකු වාර්තා වී තිබූ බවද ඉන් සියයට පනස් එකක් (51%) බස්නාහිර පළාතෙන්ද, සියයට දාසයක් (16%) දකුණු පළාතෙන්ද, සියයට නවයක් (9%) සබරගමු පළාතෙන්ද වාර්තා වූ බව ඇය සඳහන් කළාය.

මියගිය ඩෙංගු රෝගීන්ගෙන් විසිඑක් දෙනකුම කාන්තාවන් වීමට ප්‍රධානම හේතුව ලෙස නිරීක්ෂණය වී ඇත්තේ ඩෙංගු වැලඳුණු කාන්තාවන් උණ වැලඳී ඩෙංගු කම්පන තත්ත්වයට හෝ රෝගය උත්සන්න වූ පසු රෝහල් ගතවීම බවයි.

මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේ ඩෙංගු රෝගීන් හමුවීමේ විශාල වර්ධනයක් දක්නට ලැබෙන බවද ඩෙංගු වසංගතය පාලනය කළ හැක්කේ අවට පරිසරය පිරිසුදුව තබාගැනීම මගින් පමණකැයිද ඇය පැවැසුවාය.

ඉකුත් 8, 9, 10 යන දින තුනේදී දිස්ත්‍රික් 14 ක ක්‍රියාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහනේදී ඩෙංගු කීටයන් වැඩිම පරිශ්‍ර ලෙස හඳුනා ගනු ලැබුවේ පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, කර්මාන්ත හා ඉදිකිරීම් කටයුතු පරිශ්‍ර සහ පූජනීය ස්ථානවලින් යැයිද ඇය සඳහන් කළාය. එම දින තුනේදී දළ වශයෙන් පරිශ්‍ර 97,000 ක් පරීක්ෂාවට ලක් කළ බවත් ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ හැර තිබූ පරිශ්‍ර 2000 කට පමණ එරෙහිව නීතිමය පියවර ගත් බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියාය.

කොළඹ, ගම්පහ, මාතර, කළුතර, ගාල්ල, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඩෙංගු වසංගතය වැඩියෙන් පැතිර ඇතැයිද සඳහන් කළාය. ඇතැම් ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන්ද හමුවී තිබේ.

2017 වසරේදී ඩෙංගු වැලඳී 440 දෙනකු මියගිය බවත් රෝගීන් 186,101 දෙනකු වාර්තා වූ බවත් ඇය කීවාය.

මේ අතර 2025 වසරේදී මෙරටින් හමුවූයේ ඩෙංගු රෝගීන් 51,479 දෙනෙකි. එම වසරේදී ඩෙංගු මරණ වාර්තා වූයේ 29 දෙනකු වුවත් මෙම වසරේ ඩෙංගු වසංගතයෙන් 27 දෙනකු මියයාම බරපතළ අවදානම් තත්ත්වයක් යැයිද ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි වෛද්‍යවරු කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාව සහ ඉරාන සාකච්ඡා බිඳවැටේ

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට...

නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇඹිලිපිටියට පැය 13ක ජල කප්පාදුවක්

මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට හෙට (19)...

නාවික සහ ධීවර ප්‍රජාවන්ට වවාදාත්මක නිවේදනයක්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ...

ආහාර කිහිපයක් පාසල් ආපනශාලාවලට තහනම් වෙයි

මෙරට පාසල් දරුවන්ගෙන් සියයට විස්සක (20%) පමණ පිරිසක් මන්දපෝෂණයෙන්...