නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීමට හේතුව බලාගාරයේ පවතින දෝෂයක් ද නැතහොත් ගල්අඟුරු සාම්පල වාර්තා වංචනික ලෙස වෙනස් කිරීමක් නිසා සිදුවූවක්ද යන්න සෙවීමට විශේෂ පරීක්‍ෂණයක් පවත්වන බව බලශක්ති නියෝජ්‍ය ඇමැති අක‍්‍රම් ඉල්ලෙයාස් පැවසීය.
යම් හෙයකින් බලාගාරයේ දෝෂයක් නොවී කිසියම් වංචාවක් හෝ වාර්තා වෙනස් කිරීමක් නිසා මෙම තත්ත්වය ඇතිවූ බව තහවුරු වුවහොත් ඊට අදාළ සම්පූර්ණ අලාභය අදාළ සැපයුම්කාර සමාගමෙන් අයකරගන්නා බව ද ඔහු අවධාරණය කළේය.
ඇමැතිවරයා මේ බව පවසා සිටියේ පසුගියදා රූපවාහිනි වැඩසටහනකදී අදහස් දක්වමිනි.
එවැනි වංචාවක් අනාවරණය වුවහොත් එම අලාභය පියවා ගැනීම සඳහා සැපයුම්කරු විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 15ක බැඳුම්කරය සහ දැනට රඳවාගෙන ඇති ගෙවිය යුතු මුදල් කොටස භාවිත කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
දෙවැනි නැව් වාරයේ සිට අටවැනි නැව් වාරය දක්වා කාලය තුළ බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීමක් පෙන්නුම් කළද එම නැව් වාරවලදී ගොඩබෑම් වරායේදී සිදුකළ පරීක්‍ෂණවලින් සහ වරාය වාර්තාවලින් ගල්අඟුරු දෝෂ රහිත බවට සහතික වී ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී අනාවරණය කළේය.
ගොඩබෑම් පරීක්‍ෂණවලින් ගල්අඟුරු සමත් වී තිබියදී බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීම සැකයකට කරුණක් බවත් බලාගාරයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පවතින සැකය දුරුකර ගැනීම සඳහා ගල්අඟුරු සාම්පල නැවතත් ප්‍රතීතනය ලත් තෙවැනි පාර්ශ්විය රසායනාගාරයක් වෙත යොමු කර ඇති බවත් මෙහිදී ඔහු පැවසුවේය.
එහෙත්, මෙම ගැටලුව බලාගාරයේ පවතින දෝෂයක් නිසා සිදුවූවක් බව පරීක්‍ෂණවලින් හෙළි වුවහොත්, එම පාඩුව දරාගැනීමට රජයට සිදුවන බවද ඔහු කියා සිටියේය
කෙසේ වෙතත්, පළමු නැව් වාර නවය තුළ සිදුවූ අලාභය වෙනුවෙන් දැනටමත් ඩොලර් මිලියන 2.1ක (රුපියල් මිලියන 650ක පමණ) දඩ මුදලක් ගණනය කර ඇති බවත්, සිදුවන අලාභය ජනතාව මත පැටවීමට ඉඩ නොතබන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය




